ඉතිහාසය වෙනස් කල ඇපල් කතා තියෙනවනේ. කිතුණු සාහිත්‍යයේ එන සාතන්ගේ ඇපල් ගෙඩියෙන් පටන් ගත්තාම නිව්ටන් ගේ ඔලුව උඩට වැටුණු ඇපල් ගෙඩිය වගේම steve jobs ගෙ තාක්ෂණික ඇපල් ගෙඩියත් අපිට අමතක කරන්න බැහැ. බටහිරුන් දන්න එකම පළතුර ඇපල් විතරයි කියල හිතෙන තරමටම ඔවුන්ගේ සාහිත්‍යය ඉතිහාසය ඇපල් එක්ක සමබන්ධ වෙලා තියෙනවා. අද මම මේ කියන්න යන ඇපල් කතාව ග්‍රීක සාහිත්‍යයේ එන්නක්.
කතාව ආරම්භ වෙන්නේ තීටිස් (Thetis) කියන මූදු අප්සරාවගෙන් (sea nymph). ඇය ගැන අනාවැකියකින් කියවුනේ කවදා හෝ ඇයට ඉපදෙන දරුවා එම දරුවාගේ පියා අභිබවා යන්නෙක් වෙන බවයි. ග්‍රීක දේව මණ්ඩලයේ ලොක්කා වුන සියුස් (Zeus) දෙවියන්ටත් මේ කතාව කණ වැටිලා තිබ්බේ. කවදත් “Zero Risk ” ගත්ත මහා දෙවියා ඉතින් තීරණය කලා තීටිස් (Thetis) ව දෙවියෙකුට නැතිව මනුෂ්‍යයෙකුට විවාහ කරලා දෙනවා කියලා. එතකොට මොකක් නැතත් එයාගේ තනතුර රැකිලානේ.
ඉතින් සියුස් (Zeus) දෙවියා, පීලියස් (Peleus) කියන ග්‍රීක කුමාරයාව තීටිස් (Thetis) ට ජෝඩු කළා. මුලින් තීටිස් (Thetis), පීලියස් (Peleus) කුමාරයාට පොඩ්ඩක් වත් කැමති උනේ නැහැ. හැබැයි කාලයත් එක්ක විවිධ උපක්‍රම භාවිතා කරලා පීලියස් (Peleus), තීටිස් (Thetis) ගේ හිත දිනා ගත්තා. සතුට පත් වෙච්ච සියුස් (Zeus) මහ ඉහළින්ම විවාහ මංගල්‍යක් ලෑස්ති කලා. උත්සවයට රජවරු වගේම දේව මණ්ඩලයේ කට්ටියත් ආවා. හැමෝම විනෝද උනා
හදිසියේම උත්සවේට නොසිතු අමුත්තෙක් කඩා වැදුනා. ඊරිස් (Eris) – විසම්මුතියේ දෙවඟන (goddess of strife and discord). ආරාධනා පත්‍ර යවද්දි ඇයව මඟ හැරිලා. හොඳටම තරහා ගොස් හිටපු ඇය, රත්තරන් ඇපල් ගෙඩියක් රැගෙන උත්සව සභාව මැදට වීසි කලා. ඒකෙ ලියලා තිබ්බා “අතිශයෙන්ම රූමැත්තියට” – To the fairest one. ඇය බලාපොරොත්තු උන පරිදිම මේ ඇපල් ගෙඩිය මහා කචල් එකකට විසම්මුතියකට මුල උනා.
උත්සවයට ඇවිල්ලා හිටපු දෙවඟනන් කීප දෙනෙක්ම මේ ඇපල් ගෙඩියට අයිතිවාසිකම් කියන්න පටන් ගත්තා. හේරා (Hera), සියුස් (Zeus) දෙවියන්ගේ නිළ භාර්යාව මුලින්ම ඉදිරිපත් වුණා.ලස්සන නැත්තම් මහා දෙවියා කසාද බඳින්නේ නැහැනේ. ඊ ළඟට ඇතීනා (Athena) – යුද්ධයේ හා දැනුමේ දෙවඟන. සියුස් (Zeus) දෙවියන්ගේ දුවක්. ඔහුගේ හිසෙන් පහළ වුන බව තමයි කිය වෙන්නේ. ඊ ළඟට ඇෆ්‍රොඩයිටි (Aphrodite) – ආදරයේ දෙවඟන. තුන් දෙනාම එක වගේ ලස්සනයි. ඒ වගේම පසු බහින්න බැරි තරම් ආඩම්බරයි. ඉතින් මේක හරිම ප්‍රශ්නයක් වුණා. ඒ හින්දා හැමෝම ඉල්ලා සිටියා සියුස් (Zeus) දෙවියන්ට මේ ප්‍රශ්නයට පිළිතුරක් ලබා දෙන ලෙස. සියුස් (Zeus) දෙවියන්ට තේරුණා මේ ප්‍රශ්නයදී පැත්තක් ගන්නවා කියන්නේ අන්තිමේදී මහා දෙවියා තනතුරත් ගහලා යන වැඩක් බව. ඒ හින්දා බෝලේ pass කළා තවත් කෙනෙකුට. මේ කාලයේදී ට්‍රෝයි (Troy) නගරයේ පැරිස් (Paris) කුමාරයාගේ සාදාරණ ස්වභාවය සිද්දීන් කීපයක් නිසාම දෙව් ලොව පවා ප්‍රසිද්ද වෙලා තිබ්බේ. ඒ හිංදා සියුස් (Zeus) දෙවියා පැරිස් (Paris) ව නම් කළා විනිෂ්‍යයක් ලබා දෙන්නට. වැඩේ අධීක්ෂණයට හර්මීස් (Hermes) – දෙවියන්ගේ පනිවිඩකරුවා ව නම් කළා.
ඉතින් හේරා (Hera), ඇතීනා (Athena), ඇෆ්‍රොඩයිටි (Aphrodite) තුන් දෙනා හර්මීස් (Hermes) එක්ක පැරිස් (Paris) කුමාරයාව අයිඩා (mount Ida) කඳු මුදිනේදී හම්බ උණා. ඔන්න ඊට පස්සේ මහා රූප රාජිණි තරඟය ඇරඹුණා. දිව්‍ය සළු පිළි වලින් සැරසිලා හිටපු මේ තුන් කට්ටුවෙන් එක් අයෙකු තෝරන එක පැරිස් (Paris)ට කොහොමටත් කරන්න බැරි උනා. ඒ හින්දා දෙවඟනෝ තීරණය කළා සියළු සළු පිළි උනා දමා තම තමන්ගේ ස්වභාවික රූප සෞන්දර්ය පෙන්වන්න. නිරුවත් දෙවඟනන් මැද තනි වුන පැරිස් (Paris)ට ඒත් බැරි උනා ජයග්‍රාහයකු තෝරන්න. දෙවඟනන් අත හැරියේත් නැහැ. ඔවුන් ජයග්‍රහණය වෙනුවෙන් විවිද දේ පැරිස් (Paris)ට ලබා දෙන්න පොරොන්දු වුණා. හේරා (Hera), ඔහුව යුරෝපයේ හා ආසියාවේ රජු කරන්න පොරොන්දු වුණා. ඇතීනා (Athena), ඔහුට යුද්ධයේදී අවශ්‍ය දැනුම හා හැකියාවන් ලබා දීමට පොරොන්දු වුණා. ඇෆ්‍රොඩයිටි (Aphrodite), ඔහුට ලෝකයේ රූමත්ම කාන්තාව ලබා දීමට පොරොන්දු උනා. සාධාරණ පැරිස් (Paris), ඇෆ්‍රොඩයිටි (Aphrodite) ට දිනුම ලබා දුන්නා.
පොරොන්දු වූ පරිදි ලොව රූමත්ම කාන්තාව වූ ස්පාර්ටා හි හෙලන් (Helen of Sparta) ව ,පැරිස් (Paris) කුමාරයාට ලැබුණා. ප්රශ්නය වුනේ ඇය ඒ වන විටත් මැනුලස් (Menelaus) රජතුමාගේ බිරිඳ වීමයි. කෝපය ට පත් ග්‍රීක රජවරුන් පැරිස් (Paris) කුමාරයාගේ රාජධානිය වුන ට්‍රෝයි (Troy) පුරවරයට එරෙහිව යුධ ප්‍රකාශ කලා. ඒක තමයි ග්‍රීක සාහිත්‍යයේ එන ට්‍රෝජන් යුද්ධය (Trojan War) කියන්නේ. අන්තිමට කියන්න තියෙන්නේ the rest is history කියලා.