“වයසක මිතුරෙකි දොස්තර පෙතිකුඩ
ඔහු ගෙන කුමටද වැඩිපුර විස්තර ”
අහම්බෙන් වගේ ගෙදර අස් පස් කරද්දී තමයි මට “දොස්තර පෙතිකුඩ” පොත හම්බ උනේ. ළමා පොත පත සුලබ නොවුණු අපේ ළමා කාලයේ තවත් වර්ණවත් පින්තුරු සහිත රුසියානු පරිවර්තනයක්. දැන් මා ගාව තියෙන්නේ මුල් යුගයේ පොත නෙමෙයි. පස්සේ කාලෙක BMICH පොත් ප්රදර්ශණයෙන් ආසාවට ගත්ත එකක්.
පොතේ පිටු පෙරළලා බලද්දී ආයෙත් අතීතෙට ගියා වගේ දෙනුණා. ලිම්පෝපෝ, කලහාරි, කිලිමන්ජාරෝ, සහරා හරියට අප්රිකාව ගැන භූ ගෝල පාඩමක් වගෙයි. පොඩි කාලේ ඕවා තේරුණාද? නැත්තම් පින්තුර වලටද ආසා කළේ.
කොර්නි චුකෝව්ස්කි (Korney Chukovsky) කියන රුසියානු ජාතික කවියා තමයි “දොස්තර පෙතිකුඩ” ගේ මැවිසුරුවා. රුසියානු බසින් චරිතය හැඳින් උනේ Doctor Aybolit කියලා. එකේ අර්ථය තමයි Ouch, [it] hurts! – ඌයි රිදෙනවා කියන එක. එතකොට කොහොමද මේක පෙතිකුඩ විදියට අපිට ආවේ. ඒ ගැන නම් මට තියෙන්නේ අනුමානයක්.
හුඟක් රුසියානු පොත් සිංහලේට නැගුවේ දැදිගම වී. රුද්රිගු මහත්තයා. මම හිතන් හිටියේ මේකත් එහෙම වෙන්නැති කියලා. ඒ උනාට මේ පොත සිංහලයට පරිවර්තනය කරලා තියෙන්නේ කේ. ජී. කරුණාතිලක මහතා. එය කෙලින්ම රුසියන් බසින් සිංහල භාෂාවට හරවන්නේ නැතුව ඉංග්රීසි බසින් තිබු පරිවර්තනයක් ඇසුරින් කරපු බව ගුණසේන විතාන මහතා පොතේ පෙරවදනේ කියනවා. තව ටිකක් අන්තර්ජාලය පිරික්සුවාම හම්බ උණා D. Rottenberg කියලා කෙනෙක් 1978 දී පොත ඉංග්රීසියට නගල තියෙනවා Doctor Powderpill කියලා. එහෙනම් Powderpill තමයි කුඩුපෙති නැතුව පෙතිකුඩ වෙන්න ඇත්තේ. කෝමද ටිකිරි මොළේ.
දොස්තර පෙතිකුඩ ගේ චරිතාංග ගත්තොත් ටිකක් දොස්තර හොඳ හිතට (Doctor Dolittle) ලඟින් යනවා. දෙන්නටම සත්තුත් එක්ක කතා කරන්න පුළුවන්.සත්තකින්ම දොස්තර පෙතිකුඩ චරිතය යම් ආභාෂයක් දොස්තර හොඳ හිත චරිතය තුලින් ලබා ගෙන ඇති බව විකිපීඩියාවේ සඳහන් වෙනවා. සමහර පෙතිකුඩ කතාන්දරයන්හි ඔහුගේ සතුරා විදියට Barmaley කියලා මුහුදු මංකොල්ලකරුවෙක් ගැන සඳහන් වෙනවා. හරියට දොස්තර හොඳ හිතගේ සතුරා දියරකුස් (Sam Scurvy) කියන මුහුදු මකොල්ලකරුවා වගේ.
කොහොම හරි කොරෝනා හින්දා ගෙදරට කොටු වෙලා ඉන්න මේ කාලේ ආයෙමත් අපි පොඩි කාලේ රස වින්ද සුන්දර චරිත ගැන හිතන්න වෙලාවක් ඇවිල්ල තියෙනවා. ඔයාලත් දන්නා යමක් තියෙනවනම් පහළින් කොට ගෙන යන්න.
Excellent work!!!
LikeLike